2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ශිල්ප සතර දී සිහසුන හිඳුවා  ඔබට අහිමි ලොව මා රජ කරවා

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 718

පියාණෙනි මා නැවත උපන්නොත් 
අපාර වූ මේ සංසාරේ 
ඔබේම පුතු වේවා 
ඔබේම පුතු වේවා 

 

ශිල්ප සතර දී සිහසුන හිඳුවා 
ඔබට අහිමි ලොව මා රජ කරවා 
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ 
නෑ ඔබවන් පියවරු හමුවන්නේ 

 

හිත මිතුරන් මා හැර ගිය දවසේ 
ලොවම එරෙහි වී තනිවුණු මොහොතේ 
ඔබේ පැලේ නැත දොරගුළු ලන්නේ 
ඔබේ ස්නේහය නැත මියැදෙන්නේ 


ගීපද රචනය - සුනිල් ආරියරත්න 
සංගීතය - වික්ටර් රත්නායක 
ගායනය - අබේවර්ධන බාලසූරිය 

 

මගේ කොස් කොළ ඔටුන්න 
මුතු මැණික් රජ ඔටුන්නක් වූ දා 
දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට 
කෝ මගේ ළඟ තාත්තා....

අටේ පන්තියෙන් එහාට ඉස්කෝලෙට නොගිය හෙයින් අකුරු මුතු මාල මගේ තාත්තාගේ ගෙල නොරැඳුණත්  ජීවිතය කියන මහා පුස්තකය කියවන්න ජීවිතේ අකුරැ මගේ තාත්තා හොඳ හැටි දැනගෙන හිටියා. තාත්තා එයාගේ සරම් ඔඩොක්කුවේ මාව ඉන්දවාගෙන මට සොබාදහමේ අසිරිමත් කවිය පදයෙන් පදය කියලා දෙන්න ආදරණීය වෙහෙසක් ගත්තා.. ඒ තාත්තා අද මේ සංසාර සුවිසැරියේ කොහේ කොතැනකද කියලා මම දන්නෙ නෑ. මරණය තාත්තා මගෙන් සදාකාලයටම වෙන් කළත් ලෙයින් ජීවිතයක් දුන් ඒ බැඳීමේ මතක මම කොහොම අමතක කරන්නද? නාගොල්ලාගම කියන අපේ දුප්පත් ගමේ අහසට ඉහළින් වැහි ලිහිණියන් ඉගිලුණේ හරි කලාතුරකින්. අපි හිටියේ පුංචි ගෙදරක. සමහරදාට ගෙදර ඉදෙන බත් මුට්ටියේ බත් ටික පැටවු පස්දෙනෙක්ගේ බඩගින්න නිවන්න තරම් සෑහෙන්නේ නැති බව මගේ අම්මට තේරුණාම අම්මා මදි පාඩුව පිරිමහගන්න රොටී ටිකක් පුච්චනවා. මේ බත් රොටී කන්න මයියොක්කා වෑංජනෙට ගෙදර තිබුණොත් අම්මා කරවල කෑල්ලක් දෙකක් දානවා. ඒ තමා අපේ රස කෑමවේල. අඹ කාලෙට හරි සාරෙට අඹ ගස්වල ගෙඩි හැදුණා. අඹ කාලෙට අපි දවස් දෙක තුන බඩගින්න නිවා ගත්තේ අඹ කාලා. අපේ ගම්වල ඒ කාලේ වියළි සහනාධාරය ලබාදෙනවා ගමේ දුප්පත් පවුල්වලට. ඒ සහනාධාරය අපිටත් හම්බවුණා. ඒ සහනාධාරය වෙනුවෙන් සහනාධාරයේ හිලව්වට  අපි පාරක් බෝක්කුවක් හදද්දී ගිහින් වැඩ කරන්න ඕනෑ. තාත්තා උදේ හවා මහ පොළොවත් එක්ක හැප්පුණත් අපේ දුප්පත්කමේ පිහාටු අපේ ජීවිත අත්හැරලා ගියේ නෑ. පුංචි පැටවුන්ගේ කටවල්වලට රසමසවුළු දෙන්න අපේ තාත්තට කාසි පනම් නැති වුණත් අපේ හදවත් මතින් වාං දමන තරමට අපිට දෙන්න, අපේ ගේ ඉස්සරහා තිබුණු යාපහුව කන්දටත් වඩා උස අහසේ ගෑවෙන තරම් ආදරයක් අපේ තාත්තා ගාව තිබුණා. සොබාදහමේ චමත්කාරය මම ඇස් දෙකින් දකිද්දී ඒ ගැන මට වචනවලින් කියලා දුන්න මුල්ම ගුරුතුමා මගේ තාත්තා. පුතේ කිරල්ලු කෑ ගහන්නේ එක එක විදිහට. පැටවු ඉද්දි කූඩුව ළඟින් යද්දී එක විදිහකට. උන් නිදහසේ ඉද්දී තව විදිහකට තවත් වෙලාවකට උන්ගේ හඬ හිතට මහා මූසල පාළුවක් අරන් එනවා. වැව ළඟට මගේ අතින් අල්ලාගෙන එක්ක යන තාත්තා මට වලාකුළු වියන් සහ මහපොළොව අතර සාරය විස්මය දුක සතුට ගැන කියලා දුන්නා. තාත්තාගේ සරම් ඔඩොක්කුවේ මාව ඉන්දවාගෙන පුතේ  කවදාහරි දොස්තර මහත්තයෙක් වුණොත් මගේ පුතාට පුළුවන් ජීවිතේ මෙහෙම සැප විඳින්න. මේ විදිහේ සේවයක් මිනිස්සුන්ට කරන්න. ගුරුවරයෙක් වුණොත් මෙන්න මෙහෙම දේවල් කරන්න පුළුවන්. මේ විදිහට තාත්තා මට අනාගතේ ගැන සිහින බලාපොරොත්තු දෙන ගමන් ජීවිතේ ගැන මහා ගැඹුරු දර්ශනයක් ඉගැන්නුවා. පුතේ අපි කවුරු වුණත් මොනවා කළත් අවසානයේදී අපි කරන දෙයින් අපට සතුටක් නැත්නම් වැඩක් නෑ. ජීවිතේ අවසාන ඵලය කියන්නේ සතුට. මගේ අත්දෙකට උදැල්ල පුරුදු කළේ මගේ තාත්තා. මගේ ජීවිතේ එක කාලයක් තිබුණා මම මගේ නැන්දා කෙනෙක්ගේ ගෙදර හිටියා. මට අවුරුදු හතක් විතර ඇති. ගොයම් වැඩ කරන කාලයට මම බයිසිකලේ ගොයම් මිටියත් බැඳගෙන අරන් යනවා. පුංචි මට ගොයම් මිටිය තනියෙන් උස්සගෙන බයිසිකලේ බැඳගන්න බෑ. තනියෙන් බයිසිකලේ අරගෙන යද්දී වෙලාවකට මාව ගොයම් මිටියත් එක්කම පෙරළිලා වැටෙනවා. වැටෙන හැම තැනකදීම අඬන්නේ නැතුව නැගිටින්න මට කියලා දුන්නේ තාත්තා වගේම කවදාවත් නොසෙල්වී හිටිය යාපහුව ගල, ඒ මහ කන්ද කියලා මට හිතෙනවා. තාත්තා මට උදැල්ල අල්ලගන්න වගේම අලය නොකැඩෙන්න නොබිදෙන්න මයියොක්කා අලයක් උගුල්ලන්නේ මෙහෙමයි පුතේ කියලා කියා දුන්නා. ඒත් පේරාදෙණිය සරසවියෙන්, එංගලන්තයේ සරසවියෙන් ඉගෙනගත්ත අසේල විජේසුන්දර කියන ශිෂ්‍යාට පහුකාලෙක රජයේ වෛද්‍යවරයෙක් විදිහට රාජකාරී කරන ගමන් රෝස්වුඩ් කියලා මගේම රෝහලක් හදාගන්න තරම් ශක්තියක් තිබුණ දුප්පත් ගමෙන් ආව අසේල විජේසුන්දර කියන දන්ත ශල්‍ය වෛද්‍යවරයාට රෝගියකුට නොරිදෙන්න වටේට බුරුල් කරලා දතක් ගලවන අපූරු ක්‍රමවේදය කියලා දුන්නේ ඒ එක සරසවියකදීවත් මුණගැහුණු මහාචාර්යවරයෙක් නෙවෙයි. ගුණරත්න විජේසුන්දර කියන මගේ දුප්පත් තාත්තා. අදටත් මම නොරිදෙන්න දත් ගලවන්නේ තාත්තා මයියොක්කා අලය ගලවන්න කියා දුන්න සිද්ධාන්තයෙන්. ඉතින් අටේ පන්තියට අකුරු ඉගෙන ගත්ත මගේ තාත්තත් මට මහාචාර්යවරයෙක්.

පියාණෙනි මා නැවත උපන්නොත් 
අපාර වූ මේ සංසාරේ 
ඔබේම පුතු වේවා 
ඔබේම පුතු වේවා 

අපාර වූ සංසාරේ - කෙළවරක් නැති මේ සංසාරේ මගේ තාත්තේ නිර්වාණය සාක්ෂාත් කරන භව සැරිසරියේ අවසන් භවය දක්වා ඔබේම ලේ කඳුළින් පණනැගෙන මගේ ජීවිතය මට ප්‍රාර්ථනාවක්. හැම ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන්ම පපුව පලාගෙන ඇවිත් ජීවිතය කියන මහා පොළොවේ පැලවෙන පීතෘ ස්නේහය කියන මහා ගස වෙනුවෙන් මගේ තාත්තගේ ආදරය මහා සාක්ෂියක්.. නොවෙනස් සංකේතයක්.. මේ ගීය ඇසෙන හැම වාරයකම ඇස් අග දිලිසෙන කඳුළක් එක්ක මගේ මතකයට එන්නේ මගේ තාත්තා...

ශිල්ප සතර දී සිහසුන හිඳුවා 
ඔබට අහිමි ලොව මා රජ කරවා 
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ 
නෑ ඔබවන් පියවරු හමුවන්නේ 

මගේ තාත්තා පිළිකා රෝගියෙක් බවට පත්වූ ඉනික්බිති මම මහරගම පිළිකා රෝහලට මානුෂීය හේතුමත මාරුවීමක් ඉල්ලා එහි ගියා. එක දවසක් මම මගේ නිවස ගොඩනගද්දී තාත්තාට ඒ නිවස පෙන්වන්න එක්ක ගියා.ගඩොලින් බිත්ති බාගෙට ගොඩ නගමින් තිබූ නිවස බලන්නට මගේ මෝටර් රථයෙන් බැස්ස තාත්තා ටික දුරක් ඇවිද ගෙන ගොස් වෙහෙස නිසා බිම ඉඳගෙන ගේ දිහා බැලුවා. ළමයෝ ඉතුරැ ටික මට හිතාගන්න පුළුවන්... ඒ මොහොතෙත් තාත්තාගේ ඇස් දිලිසුණා.. මම වෛද්‍යවරයෙක් වුණාට පස්සේ තාත්තා ගමේ පන්සලේ පුංචි උත්සවයක් තියලා අපේ නෑයන්ට එන්න කියලා මට උපහාරයක් දැක්වුවා.. එදා තාත්තා මට දුන්න පුංචි සමරු පලකය අදටත් මගේ ජීවිතේ මට මහමෙරක් තරම් වටින මතකයක්.. සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුවක් නැති වෙච්ච සෙල්ලම් වයසට උදැල්ල අතට ගත්ත ගොයම් මිටි, මයියොක්කාඅල, මහපොළව එක්ක අරගල කරපු තමන්ගේ දුප්පත් දරුවාගේ කොස්කොළ ඔටුන්න මුතු මැණික් ඔටුන්නක් වෙද්දී හැම තාත්තා කෙනෙක්ම වගේ මගේ තාත්තත් වචනවලට ගැටගහන්න බැරි මහා සතුටක් වින්දා 

ශිල්ප සතර දී සිහසුන හිඳුවා 
ඔබට අහිමි ලොව මා රජ කරවා 
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ 
රැව් පිළිරැව් දී ඇසෙන ඒ ගී පද අදත් මගේ ඇස් අගට අරන් එන්නේ කඳුළක් 

හිතමිතුරන් මා හැර ගිය දවසේ 
ලොවම එරෙහි වී තනිවුණු මොහොතේ 
ඔබේ පැලේ නැත දොරගුළු ලන්නේ 
ඔබේ ස්නේහය නැත මියැදෙන්නේ 

ජීවිතය කඩා වැටුණු මොහොතක ලෝකයම එරෙහි වී එක් පැත්තක සිට ගත්තත් තාත්තාගේ ගල්කුලක් හා සම වූ ස්නේහය මහා ගිරක් සේමැයි. එහෙම හිතුණ දැනුණ දවස් මට මගේ ජීවිතේදී හමුවෙනවා. ජීවිතේ එක් තීරණාත්මක සංසිද්ධියක් මා හඬවපු දවසක මට මතකයි මගේ හිතේ කැකෑරෙන වේදනාව මගේ දුප්පත් ගෙදර තිබුණු පලාස්ටික් පුටුවක් පොළොවේ ගහන්න තරම් වේගවත් වුණා. අම්මා ඇයි මේ කියලා අහද්දී තාත්තා කීවේ දරුවට මොකුත් වචනයක් කියන්න එපා දරුවා කැමති විදිහකට එයාගේ හිතේ දුක පිට කරගන්න ඉඩ දෙන්න කියලා.. අටේ පන්තියට අකුරැ ඉගෙන ගත්ත මගේ තාත්තා දත් දොස්තර වෙච්ච  එයාගේ දරුවාගේ හදවත කියවපු මනෝ වෛද්‍යවරයෙක් වෙච්ච තැන් හුඟක් අතීතය කියවද්දි මට හමුවෙනවා.

 තාත්තා කෙනෙක්ගේ අප්‍රමාණ ස්නේහයට ගුණ දහරාවට මට හමුවූ හොඳම ගීත නිදර්ශනය මේ ගීතය කියලා මට හිතෙනවා.. 

ඒත් තාත්තේ මේ සොබාදහමෙන් අහන්න විමසන්න මට එක ප්‍රශ්නයක් තියෙනවා.. ඇයි තාත්තා කෙනෙක්ගේ හද මඬලේ රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට පරිවර්තනය නොකළේ.. ඇයි තාත්තා කෙනෙක්ගේ පපුවේ එරෙන ස්නේහයේ තරම කියන්න ගැඹුරු සාක්ෂියක් නොදුන්නේ.. තාත්තා කෙනෙක්ගේ ආදරයෙන් ගල් වෙච්ච ලේ හරි ඝනකම්.. ඒ ඝනකම අසමානයක් නිසාද කිරකට හරවන්න හයියක් නැති වුණේ.. මට උත්තරයක් දෙන්න.

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00